ආදර මතක මංපෙත

    0
    41

    ආදරය හා විරහව අතර ඇත්තේ ප්‍රේමණීය හදවත් හී උපන් සුහුඹුල් ප්‍රාර්ථනා සේම කැඩී ඉහිරි යන ආදර කතාන්දරවල ලසෝ ගිණි ජාලාවයි.සැබැවින්ම ආදරය වූ කලී යෞවනයේ උන්මාදනීය හැඟීම් පුබුදුවන රස සුවය බැව් පෙම් පුරාවත් හී කිමිද ගෙන්දගම් පොළොවේ පය ගසා සිටින්නවුන්ගෙ අදහසයි.

    අයිතිකර ගැන්මට වඩා දුරින් සිට බලා සැනසීමත්,ලද ප්‍රේමය තම පණ පුදා සුරක්ෂිත කර ගැන්මත් සාලිය _ අශෝකමාලා,දස්කොන් _ප්‍රමිලා හා ගොළු හදවතේ දම්මි හා සුගත් ආදී සජීවී චරිත සේම මනඃකල්පිතයන් තුළ ගොඩනැගුණු ආදරණීය බැඳීම් ඒ සා මානව චිත්ත සන්තානයන් සනසාලූයේ පිවිතුරු ආදරණීය බැඳීම් නිසාවෙනි.

    එමුත් අද කාලයේ පෙම් කතාන්දර “අවිශ්වාසය”නම් ගිණි පුළිඟුවෙන් දැවි දැවි පිච්චෙන අතර ඇතැම් විටෙක ළය පසාරු කරනා පිහි ඇනුම්,වෙඩි උණ්ඩ මතින් ආදරය කතර කැරකෝප්පුවක් යැයි හංවඩු ගැසෙනා විට ඇතැම් දෑස් තම දිවි පුදා කළ ආදරයේ සේයාරුව නැවත මියෙන්නට මත්තෙන් එක් වරක් හෝ දකින්නට පෙරුම් පුරනවාද ඇතී….මහා මන්දිර වලට වඩා සවිමත් ආදර කතාන්දර ජීවමානව පවත්නා කටු මැටි ගැමි ගෙදර පිස එන මදනල තරුණ ප්‍රජාවට සැබෑ ආදරයට පූර්වාදර්ශයන් සපයන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

    ආදරය නම් අකුරු හතර තුළ පැටලෙන පාසල් වියේ පෙම්වතුන් නිසා වත්මන්හි ප්‍රසිද්ධියේ දකින්නට ලැබෙන අශෝභන හැසිරීම් පිරි නොමේරු පෙම් නාටක අවසානයේ පෞද්ගලිකත්වය සේම ආත්මයම දියාරු කර හරින හඬපට,වීඩියෝ පට ,කෙටිපණිවුඩ,ජායාරූප එහෙන් මෙහෙන් එළියට යද්දී ඇතැම් නරුමයන් ඉන් ලබන අශික්ශිත මානසික ප්‍රීතිය සමාජ පරිහානියේ තරම කියාපාන්නකි.වැදූ මවගේ නමටත් නිගා දෙමින්,ගැහැණිය කෙළි බඩුවක් ලෙසින් නම් කොට බාල අපරාධ,ස්ත්‍රී දූෂණ,ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පණ දෙන බොහෝ අඳබාලයින් සමාජයේ ඕනෑ තරම් වෙති.

    එහෙත් දිනක් හෝ පෙම් කළ හදවතක් රිදවා පණ පිටින් ම්හිදන් කරනු වෙනුවට මවු ගුණයට හිස නවන,ඕනෑම කතක් දෙස ද්‍යාර්ද හදින් දක්නට යමෙකුට හැකිනම්, හේ සැබෑ ලෙසම උතුම් චරිතයක් මැයි.

    දෙපාර්ශවයම ආදරයට මුවාවී එකිනෙක ජීවිත රැවටීම,වැනසීමට ලක්කරනවා වෙනුවට සැබෑ ලෙසම ලත් දිවිමග තුළ සෙනෙහෙ සිත් දල්වා,එකිනෙකා අත් පටලා ගෙන විශ්වාසයෙන් ආදරණීය ගමනක් යන්නට නූතන පෙම්වතුන්ට පෙම්වතියන් හට හැකි නම් සැබෑ ලෙසම ආදර මතක් මංපෙත සොදුරු වනු ඇත.

    – Shesa –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here