උමතුවේ වියරුව

0
32

තාරුණ්‍යය සොදුරු ය. විටෙක හිතුවක්කාර ය. එනිසාම කලින් කල මතුවන විවිධ තරුණ රැළි බොහොමයක් ආ පයින්ම ගෙදර ගිය බව තතු දත්තෝ දනිති. එය එසේ පවත්නා අතර මෑතකාලීනව තාරුණ්‍යය උන්මත්තකයන් බවට පත්කර ඇති සුප්‍රකට ජංගම දුරකථන යෙදවුමක් සේ ගැනෙන “ටික්ටොක්”නම් යෙදවුම සමාජ කරළියේ ඉමහත් අවධානයට ලක් ව තිබේ.

ආටෝපයන් සේම කෙළිලොල් බවේ මිහිර විඳින්නට නොතිත් ආශාවෙන් පෙළෙන තාරුණ්‍යය දොරගුලු විවර කරගත් තරුණ තරුණියන් විලංගු ලා ගත නොහැකි උමතුව තත්පර ගණනක වීඩියෝ පට ලෙස සමාජ මාධ්‍යය වෙත මුදාලීම මෑතකාලීනව සුලබ වී ඇත. කණගාටුවට කරුණ වන්නේ මෙකී යෙදවුම් නිසා පිරිමි දරුවන් සේම ගැහැණු දරුවන්ගේ ද හිරි ඔතප් විනාශ වී ගොස් ඇති බව දක්නට ලැබීමයි. සමාජ පිළිලයක් සේ උඩු දුවමින් පැතිරෙන ටික්ටොක් වසංගතය තුළ රූබර දියණිවරුන් තම ආත්මයම පාවාදෙන අනඟ රැගුම් කිසිදු බියකින් හිරිකිතයකින් තොරව කැමරා ඇස් ඉදිරියේ පාමින් හැදු වැඩූ මාපියන්ට නිඟා දෙන අන්දම සමාජ පරිහානියේත් තරුණ මදයේ උන්මාදයත් මනාව පසක් කර දී තිබේ. තවද ස්ත්‍රී ගමන් විලාස,ඇඳුම් ආයිත්තම් වලින් සැරසී ගත් හතර හන්දි යහතින් ඇති පිරිමි දරුවන් තම පිරිමිකම අමු අමුවෙම උකස් කරනා සැටි බලන්නට ලැජ්ජා සහගතය. තම අඟ පසඟ නිරාවරණය කර කැමරාවට පෙන්වා බයිටිඩාන්ස් නම් චීන ජාතිකයා විනෝදය,නිර්මාණශීලිත්වය ආදී අරමුණු උදෙසා ගොඩ නැගූ තාක්ෂණික යෙදවුම හරහා තරුණියන් තම ගෞරවය කෙළෙසවා ගන්වා අතරම,පෞරුෂත්වයකින් පිරි කාර්යක්ෂම තරුණයින් වෙනුවට කුමන හෝ අඳෝනා ගී තාලයකට එහෙට මෙහෙට ඇඹරෙන පුරුෂ සමාජයක් දැන් බිහිවෙමින් පවතී.

ඇතැම් විටෙක සමාජයේ පිරිස් යහ මගට ගන්නට කටයුතු කල යුතු ඇත්තෝ ද මෙවන් විසූපදස්සන උදෙසා කිසිදු හඬක් නොනැගීම මත නිරුවත අලෙවි කර හෝ තාවකාලිකව ජනප්‍රියතාව සොයා යන මුග්ධ තාරුණ්‍යය වෙත කණවැල අල්ලන සමාජ මාධ්‍යයන් හා වෙනත් විද්‍යුත් මාධ්‍යය තුලින් ලැබන්නේ ද මනා පිටිවහලකි. “මේ සතියේ හොඳ ම ටික්ටොක් “යනාදී උඩෘත යොදා කාමුකත්වය,බෙලහීන පුරුෂ මානසිකත්වය,නිරුවත තුලින් ග්‍රාහක ආකර්ශනය දිනාගන්නා අතරම මොණර කොල වලින් මඩිය පුරවා ගැන්මේ නිහීන තරඟයක යෙදෙති. පාසල් වියේ දරුවන් ද සමාජ පරිහානියේ ආදීනවයන් නිසා ලිංගිකමය අසහනයෙන් පෙලෙන තරුණ තරුණියන් ද මෙකී අවිචාරවත් රංගනයන් හී නිරත වෙති. යම් යම් ටික්ටොක් වීඩියෝ පට ඇතැම් ආගමික අනුගාමිකයන්ගේ ස්වරූපයෙන් යුතුව සමාජ ගත වීම තුළ සංවිධානාත්මක අන්දමින් වැරදි අදහස් හා ආකල්ප ආගමික කණ්ඩායම් තුළ ඇතිකරලීමේ ක්‍රියාදාමයක් ද කෙමෙන් හිස ඔසවන බවට ඉඟියකි.

මෙවන් මුග්ධ,අවිචාරවත් හැසිරීම් වලින් උන්මත්තකයන් වී නටන උතුම් මාතෘත්වය හා පීතෘත්වය දරන්නට සේම රටේ ජීවනාලිය බඳුව ඉදිරියට යන්නට සිටින තරුණ ප්‍රජාව මෙසේ හුදෙක් විනෝදය,රසපහස පමණක් අගයන ශෝචනීය තත්වයෙන් මුදා ගැන්මට සමාජ පුරවැසියන් ලෙස අපි සතුව වගකීම් රැසකි. සමාජ පිළිලයක් වී ඇති මෙවන් යෙදවුම් මෙරට තුළ නියාමනකට ලක් කර හිරිඔතප් පවා මුදලට විකුණන තරුණ ප්‍රජාව පුනරුත්ථාපනය කර හෝ මෙම උමතුවේ වියරුවෙන් සමාජය මුදවා ගතයුතු ය. ඒ උදෙසා සමාජමය කතිකාවත් ගොඩ නගන්නට අද දවසේ පටන් යම් විධිවිධාන අවැසි බැව් ලක් දෙරණට ආලය කරන බොහොමයක් දෙනාගේ අදහසයි.

— Shesa —

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here