රියැලිටි නාටක

1
27

ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේම ජාත්‍යන්තර ළමා ප්‍රඟඳාප්තියට අනුව අවුරුදු දහඅට නොඉක්මවූ පිරිස් දරුවන් ලෙස නම් කර තිබේ.ඒ අනුව දරුවන් හෙට ලොව දිනන දැයේ ජීවනාලිය ලෙසින් සමාජය තුළ විශේෂිත වටිනාකමක් දී තිබේ.සකල විධ කලා කුසලතා හා හැකියාවන් ගෙන් යුක්ත ළමා පරපුර උදෙසා තම හැකියා උරගා බලන්නට විවිධාකාරයේ තරඟාවලි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය හරහා සංවිධානය කොට පවත්වනු සුලබව දක්නට ලැබෙන කරුණකි.මේවා මතින් දස්කම් ඇති දරුවන් සේම මනාප පොරයෙන් ජයලත්තෝ ද කලඑළි බසිනා අතර රියැලිටියේ රෙදි උනා දමන කෙරුවාවන් ගැනද අහන්නට දකින්නට ලැබෙනා දෑ බොහෝමයකි.

වයසින් මුහුකුරා නොගිය එමුත් රූ සපුවෙන් ඔදවැඩී ගිය යෞවනයට ඉඟි කරන වයසේ දරුවන් අතර මෙවන් ජනප්‍රිය ලේබලයේ රියැලිටි තරඟ සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි.ඈත පිටිසර ගම්දනව් සිසාරා පැතිරෙන රියැලිටි උණ නිසා කණකර උකස් කර හෝ දරුවන්ගේ ඉදිරි අනාගතයට පාර කපන්නට දෙමාපියෝ දෙවරක් නොසිතති.මෙනිසාම මහා ජන ගංඟාවකගේ සිත් නෙත් සොරා ගන්නා රියැලිටි වේදිකා විනිශ්චයට ද මහාගත් කතුවර,පඬිවර,ජනකාන්ත,මනකාන්ත,නර්තනයේ ප්‍රතිමූර්තාදී නොයෙක් දෑ දත්තෝ කැඳවති.එසේ ඇරැඹෙන ගායන වාදන නර්තන තරඟාවලි සමහරෙක දරුවන් මාපියන් සමගත්,විවිධ පුද්ගල චරිත ගුරුවරුන් ලෙස නම් කර ඒ ඒ අයවලුන් සමඟත් ගණුදෙනු කරන අදියරයන් ඇරඹේ.එන්න එන්නම ළමාකම,ලැජ්ජාශීලී බව,සංවරත්වය අමතක වන දරු දැරියන් සේම,මාපියන් ද,විනිශ්චය මණ්ඩල ලෙස බෝඩ්කෑලි එල්ලාගත් චරිත ද විවිධාකාරයේ ස්ත්‍රී පුරුෂ නර්තන සුසංයෝග නිර්මාණයේ විලිලැජ්ජා නැති වීර්‍යයක යෙදෙති.දියණියකගේ රු සොබා වැසෙන්නට රෙදි අන්දන් ආ ඇතැම් මව්පියන් තරඟයේ අවසන් වටවලදී තණපටයෙන් පමණක් උඩුකොටසත්,දුහුල් රෙදිකඩකින් යටි කොටසත් වස්සවා තම දියණියගේ දක්ශතා අපමණකැයි සතුටු කඳුලු වගුරුවමින් කට පුරා හිනාවි පුරසාරම් දොඩනා විට මොළයක් ඇති යම් පමණක ඉගෙනුමක්,හැදියාවක් සේම දරුවන් වෙත ආලයක් ඇත්තෝ පෙරකී මව්පියන්ගේ තුටුකඳුලු දෙස උපේක්ෂා සහගතව බලා සිටිති.ඒ සියල්ලට වඩා පුහුණුකරුවන් යැයි කියාගන්නා අයවලුන්ගේ කරමත නැගී,ප්‍රේමාන්විත රංගනයන්හී නිරත වන ළමා යැයි කියාගන්නා අඳබාල දරුවන්ගේ ලාලිත්‍යවන් හොඳ හැටි ඉලක්ක කරගන්නා කැමරාකාච අවසානයේ ගුරුගෝල ලෙසින් නම් කර පටන් ගන්නා නාටක ඊටත් එහාට ගලපන හැටි සැබවින්ම දරුවන්ගේ ළමා මනසට විසපොවා ඇති අන්දම මනාව පෙන්වා දෙයි.

වෙළඳ මාෆියාවේ ගොදුරු වූ මාධ්‍යය හරහා රටේ දරුවන්ගේ නාරි දේහයන් අඹරා,අඩ නිරුවත් කර මඩිතර කරගන්නාඅතර හෙළයාගේ පරිණාමය හා හැදියාව ගැන තප්පුලන බොහෝ විද්වතුන් යැයි පවසන අයවලුන් ද මෙවැනි නාඩගම් හමුවේ මුණිවත රැකීමත් ඒවායේ විනිසුරන් ලෙස හිඳිමින් තව තවත් නිරුවතට ආ වැඩීම ගැටලුවකි.දියණියගේ අගය ඇත්තේ වැසුණු තුණු සිරුරේ බවත්,පුතෙකුගේ අගය ඇත්තේ අයුක්තිය අබිමුව නැගී සිටීම තුළත් බව අප අසා ඇත්තෙමු.රියැලිටියෙන් මේ මුල් සිඳ පාර කපන්නේ ගුරු ගෝල බැඳියවන් ගණන් නොගන්නා,තම මවපියා පමණක් නොව ලෝකයා ඉදිරියේ සේම නිරුවතින් නටන්නට හැකි දියණිවරු බිහිකරලන්නට බවත්,අනුවණයන්ට වැටහෙන්නට තව කොපමණ කල් යාවිද?.

දරුවා යනු සොදුරු හදක් හිමි,කුසලතා සේම මානව දයාව පිරි ළපටි මල් කැකුලක් මිස වේදිකා ගානේ මහ මිනිසුන්ගේ මඩිය පුරවන්නට නටවන කෙලිබඩුවක් නොවේ..එනිසා දරුවන්ට ඔබින වේදිකා මත ඔවුන් කිරුලු ගන්වන්නට ක්‍රියා කිරීම මව්පියන්ගේ පරම යුතුකමක් වන අතර දරුවන්ගෙ ළමා කම මහ මිනිසුන්ගේ විකෘතින් පිරි මනදොල පුරවන්නට යොදවනවා නම් ඊට එරෙහිව නැගී සිටිම ළමුන් උදෙසා වෙන්වූ ආයතන වල ඇත්තන්ගේ ප්‍රමුඛ වගකීමකි.

– Shesa –

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here